Pages

Subscribe:

Tuesday, March 3, 2020

ඔබ දිනකට තීරණ 2500ක්‌ ගන්නා බව දන්නවාද?


අසීරු බැරෑරුම් අවස්‌ථාවලදී තීන්දු තීරණ ගැනීමට හැම විට මිනිසා සතු සුවිශාල දක්‍ෂතාවකි. එහෙත් එසේ ලබා ගන්නා තීන්දු තීරණ සම්බන්ධව විද්‍යාත්මක විශ්ලේෂණය කිරීමක්‌ සිදුවිය යුතුව ඇත. අප ඉතා අවදානම් අවස්‌ථාවලදී ලබාගන්නා තීරණ නිවැරැදි වීමට මෙන්ම වැරැදි මඟට ගොස්‌ අප අමාරුවේ වැටෙන අවස්‌ථාද ඇත. එහෙත් තීරණයක්‌ ලබා ගැනීමේදී මෙසේ වාසි මෙන්ම අවාසි සහගත පරිසරයන් අප විසින් බාරගත යුතුව ඇත.

1654 වසරේ දී එවකට විසූ ශේ්‍රෂ්ඨ ගණිතඥයන් දෙදෙනකු වන බ්‍රැලගේ පැස්‌කල් සහ පියරේ ෆර්මැට්‌ විසින් මේ සම්භාවිතාව සම්බන්ධව (probability theory) සිද්ධාන්තය ගොඩනඟන ලද අතර අවසානයේ දී එය තීරණ ලබා ගැනීමේ සිද්ධාන්තය (decision theory) දක්‌වා වැඩිදියුණු වීම ගෙවීගිය 20 වැනි සියවසයේ දී සිදුවිය.

අප යම් තීන්දු තීරණයක්‌ ලබා ගැනීමට පෙර එහි ගුණ අගුණ වාසි අවාසි පරීක්‌ෂා කිරීම සිදු කරයි. එහි පෙර සහ පසු ප්‍රතිඵල පරීක්‌ෂා කරයි. අවසානයේ දී ගත යුතු හොඳම හා වාසි සහගතම තීරණය ලබා ගනියි. මෙය තීරණ ලබා ගැනීමේ සිද්ධාන්තයෙ මූලධර්මයි.

පරිණාමිකව මිනිසාට උරුම වී පවතින මානසික හැකියාවන් සමග වඩා සාර්ථක ලෙස තීරණ ගැනීමට විශේෂ යෝජනා කිරීමට ඔහුට හැකිවී ඇත. අපට සියල්ල දත් පරිගණකයක්‌ ලෙස ක්‍රියා කළ නොහැකි නමුත් පරිණාමිකව උරුම ස්‌වාභාවික වරණය නිසා ඉහළ මට්‌ටමක තීන්දු තීරණ ගැනීමට දක්‌ෂතාවක්‌ පවතියි. මේ නිසා අවුල් වියවුල් වූ තරගකාරී ලෝකය හමුවේ නොසැලී තීරණ ගැනීමට ඔහු සමත් වෙයි.

අප තීරණ ගැනීම අහඹු බව, ආකල්ප, බලාපොරොත්තු, ක්‌ෂුද්‍ර සිතුවිලි සහ හැඟිම් ආදිය මත රඳා පවතින්නකි. මෙයට අමතරව තවත් මානව ගතිගුණ රාශියක්‌ මේ කෙරෙහි බලපානු ලැබෙයි. මෙවැනි විවිධාකාර වූ සිතුවිලි තරගයක්‌ අතරින් නිවැරැදි දේ තෝරා ගැනීමට හැකියාව පැවතීම පුදුම සහගත බව විද්‍යාඥයෝ පවසති.

විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට අප විසින් සෑම දිනකම එකිනෙකට වෙනස්‌ තීරණ 2500 ක්‌ 10,000 අතර ප්‍රමාණයක්‌ ගනියි. මේ තීරණ අතර අප විසින් අද දින පානය කරන කෝපි වර්ගය (brand) කුමක්‌ද යන්න සිට අප විවාහ වන්න කා සමගද වැනි බැරෑරුම් ප්‍රශ්නද වෙයි. මේ බොහෝ තීරණ උප විඥණීය මනස Subconscious mind මගින් ගනු ලැබේ.

අප ජීවත්වන තරගකාරී වටපිටාව තුළ තීන්දු තීරණ ගැනීමට මනස හැඩගැසෙන අන්දම සරලව පැහැදිලි කළ නොහැක. අඩු මහන්සියකින් ඉක්‌මන් තීරණ ලබා ගැනීමේ හැකියාව පවතියි. අපගේ අත්දැකීමේ අනුව විවරණය කරමින් තීන්දු තීරණ ලබාගැනීම Recognition heuristic ලෙස හඳුන්වා දෙයි. තීන්දු තීරණ ලබාගැනීම බොහෝ ප්‍රමාද නොකළ යුතුය.

තීන්දු තීරණ ගැනීම සම්බන්ධව අවබෝධයට අපට පරිණාමික හුරුවෙන් හෝ තීරණ ගැනීම සම්බන්ධව අපට පවතින හරිගිය හෝ වැරැදී ගිය තීරණවල (trial and error) අත්දැකීම් අනුව සිදුවන්නකි. කෙසේ වුවත් මේ සම්බන්ධව අදහස්‌ දක්‌වන ඇතැම් විශ්ලේෂකයන් පවසන්නේ මෙය සිතන තරම් සරල සිදුවීමක්‌ නොවන බවත් මේ සඳහා සංකීර්ණ මානසික ක්‍රියාදාමයන් සිදුවන බවය.

අප හැඟීම් ප්‍රකාශ කිරීම උප විඥනිකව සිදුවන්නකි. මෙය පරිණාමිකව පුරුදු පුහුණුවීම් නිසා උරුම වන්නකි. වඩා හිතකර තත්ත්වයන්ට ගැලපෙන පරිදි තීරණ ගැනීමට අවස්‌ථාව උදා වන්නේ මෙමගිනි. තරහ යන විට වැරැදිකරුවන්ට එරෙහිව නැගී සිටීමට පොළඹවන්නේ මේ තත්ත්වයයි.

බර්ලින් සරසවියේ පීටර් හැමර්ස්‌ටෙන් පෙන්වා දෙන අන්දමට අප තුළ ඇතිවන ප්‍රතිවිරුද්ධතා (disgust) වල ප්‍රතිඵලය ලෙස සතුරු උපද්‍රවවලට එරෙහිව සටන් කිරීමට ශක්‌තියක්‌ද රෝගාබාධවලට එරෙහි ප්‍රතිශක්‌තිකරණයක්‌ද ගොඩනැඟෙයි. අප ප්‍රශ්න හමුවේ බියවූ විට අපට අනවශ්‍ය බලපෑම්වලට අධි ක්‍රියාකාරිත්වයට පන්නරයේ ඇතැම් විශේෂ මේ තත්ත්වයට ඔරොත්තු නොදීම නිසා වඳවී යැම සිදුවිය.

අප එදිනෙදා මුහුණදෙන සියලු ගැටලු උපද්‍රව ගැන පුළුල්ව සිතීමට තරම් අපගේ මොළය සංකීර්ණ නොවෙයි. ඒ සියල්ල සංකීර්ණව සිතන්නේ නම් අපට ජීවත් වීමටද අපහසු වෙයි. සෑම විටම සරල ලෙස සිතීමට වඩා වැදගත් වෙයි.

අපි කෝපි කෝප්පයක්‌ මිලදී ගැනීමට ගිය විට මිල වැඩි බව හැඟුණේ නම් අප එය මිලදී ගන්නේ නැත. ඒ මෙයට පෙර කෝපි කෝප්පයක මිලදී ගත් මිල ගණන් සිහිවන බැවිනි. එහිදී අතීතය සංසන්දනය කර බලන අප දැනට පවසන මිල එම අගයන්ට වඩා ඉහළ නම් කෝපි කෝප්පය මිලදී ගන්නේ නැත. මෙය අපගේ සංසන්දනාත්මකයේ ප්‍රතිඵලයකි. අවදානම් සහගත පරිසරවල ජීවත් වන පුද්ගලයන් නිතර ලබාගන්නා තීරණ වඩා අවදානම් සහගත හා බරපතල වෙයි. සාමකාමී පරිසරවල ජීවත් වන පුද්ගලයන්ට හදිසි අවස්‌ථාවලදී අවදානම් තීරණ ලබා ගැනීමට නොහැකි වෙයි.

ඔක්‌ස්‌ෆර්ඩ් සරසවියේ ඇලෙක්‌ස්‌ කෙසෙල්නික්‌ සඳහන් කරන අන්දමට ස්‌වාභාවික වරණය මගින් අප ලබා ගන්නා තීරණ වශයෙන් අපට අපගේ හැසිරීම් නිවැරැදි කරගත හැකිය. තීන්දු තීරණ ලබා ගැනීමට අප පොළඹවන ප්‍රධාන සාධකය ජීවනාවබෝධය හා අධ්‍යයනයයි. මේ අනුව විවිධ සිදුවීම්වලට මුහුණදී ලබා ගන්නා අත්දැකීම් මෙහිදී ඉතා වැදගත් වෙයි. මෙහිදී ජෛව විද්‍යාත්මක පදනමකින් තර්කානුකූලව තීරණ ගැනීමට සිදුවෙයි.

අප ලබාගන්නා සමහර තීරණ අපගේ තනි තීරණ නොව සාමූහිකව ගන්නා ලද තීරණවල ප්‍රතිඵලයයි. ලොස්‌ ඇන්ජලිස්‌ කැලිෆෝනියා සරසවියේ රොබ් බොයිඩ් පවසන්නේ අප අනෙක්‌ පුද්ගලයාගේ අත්දැකීම්වලින්ද ජීවත් වීමට ඉගෙන ගන්නා බවය. අනෙකා අනුකරණය කරන බවය. කෙසේ වුවත් අප නොමඟ යවන වැරැදි ආදර්ශ සහගත නායකයන් හා එවැනි අවස්‌ථාවලින් ඈත්ව සිටිය යුතුය.

පරාර්ථකාමී (altrium) චින්තනය මෙම සමාජය තුළ ඉහළට ගමන් කිරීමට උපකාරී වන්නකි. අප දානමය පරිත්‍යාග කිරීමට පෙළඹවීම අප තුළ මානසික සහනයක්‌ ඇති කරයි. පුහු ආටෝපයද සමහර අවස්‌ථාවලදී පරිණාමිකව වැදගත් වන්නකි. අතාර්කික සහ විවාදයට තුඩු දෙන සමහර හැඟීම් පසුපස මානසික අහඹුතාවයක්‌ පවතියි. ඉතා නිවැරැදි තීන්දු තීරණ ලබා ගැනීම සියවසේ සුවිශාල අභියෝගය වෙයි. මේ සඳහා පරිණාමික සාධකද උපයෝගී කරගත යුතුය.

ඉතා සංකීර්ණ හා තරගකාරී ලෝකයේ තීරණ ලබා ගැනීමට පෙර දහස්‌ වාරයක්‌ කල්පනා කළ යුතුය. ඉතා බැරෑරුම් ප්‍රශ්නවලට එදිනෙදා මුහුණදීමටද මේ සියල්ල උපයෝගී කරගත යුතුව ඇත. ඔබ ලබාගන්නා තීරණ ඔබ සිටින්නන්ගේ අනාගතය ආලෝකමත් කරන වෙනස්‌ කළ හැකි බවද සිහියේ තබාගත යුතුය. අපගේ මනස මෙලෙසින් නිවැරැදි දිශාවකට යොමු කිරීම සඳහා මානසික පුරුදු පුහුණුව ඉතා අවශ්‍යමයි.

0 comments:

Post a Comment